fruit, vegetable, apple

බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙන්න පිරිසිදු එළවළු සහ පලතුරු

සමබර ආහාර වේලක එළවළු හා පලතුරු ප්‍රධාන තැනක් ගනියි. අපේ ආහාර පිඟානෙන් හරි අඩක ප්‍රමාණයක් එළවළු හා පලතුරු වලින් සමන්විත විය යුතු බව පෝෂණය පිළිබඳ විද්වතුන් පවසයි. ලෙඩ රෝග වලින් වැළකී නිරෝගි දිවියකට පිය තබන්නට එළවළු හා පලතුරු අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ තරුණ හා යොවුන් පරපුර පැණි රස හා තෙල් කෑමට ප්‍රිය කරයි. බොහෝමයක් බෝ නොවන රෝග ප්‍රචලිත වීමට හේතු අතරින් මෙය ප්‍රධාන ස්ථානයක් ගනියි. පැණි රස හා තෙල් කෑම වලින් මිදීමට යොදාගත හැකි හොඳම විකල්පය එළවළු  හා පලතුරු ඔබේ ආහාර පිඟානට එක් කර ගැනීමයි. එළවළු හා පලතුරු කැලරි වලින් අඩු අතර මේද හා ප්‍රෝටීන ද ඉතාම අඩුය. නමුත් විටමින්, ඛනිජ ලවණ මෙන්ම ආහාරමය තන්තු වලින්ද පොහොසත්ය. අනෙක් ආහාර වර්ග වලට වඩා එළවළු හා පලතුරු ඉක්මනින් ජීර්ණය වේ.

ප්‍රතිඔක්සිකාරක ගුණය

එළවළු හා පලතුරු වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වෙයි. ඒවා මගින් ශරීරයේ සිදුවන ඔක්සිකරණ ක්‍රියාවලියට බාධා කර බෝ නොවන රෝගවලින් ඔබව ආරක්ෂා කරයි. අප ශරීරයේ ඇති අනෙකුත් අණු ඔක්සිජන් අණු සමඟ  සම්බන්ධ වූ විට එම අණු වල ව්‍යුහය වෙනස් වන අතර එමගින් මුක්ත අණු නිපදවයි. මෙම මුක්ත අණු රුධිර නාලවලට හානි සිදු කරයි. එමගින් රුධිර නාල වල රුධිර කැටි ඇති කර රුධිර නාල අවහිර කිරීමට දායක වෙයි. නමුත් මෙම ප්‍රතිඔක්සිකාරක මගින් මුක්ත අණු ගිල දමමින් ඒවා මගින් සිදු වන හානිය වළක්වයි. ඒ නිසා ඇතිවන හෘද රෝග හා ආඝාතය මෙන්ම වකුගඩු වැනි රෝග අවම කිරීමට ද උපකාරී වේ. එළවළු හා පලතුරු වල ඇති ප්‍රධාන ප්‍රතිඔක්සිකාරක ලෙස විටමින් C, විටමින් E හා බීටා කැරොටීන් හැඳින්විය හැක.

බෝ නොවන රෝග සඳහා බලපෑම

එළවලු හා පලතුරු වල කැලරි ප්‍රමාණය ඉතා අඩු නිසා ස්ථූලතාවයෙන් මිදීමට කදිම විසඳුමක් ලෙස ගත හැකිය. පිටි සහිත හා පැණි රස ආහාර මෙන්ම තෙල් කෑම වල අධික කැලරි ප්‍රමාණ නිසා ඒවා මේද ලෙස ශරීරයේ තැන්පත් වී ස්ථුලතාවයට මග පාදයි. ඒ නිසා ඔබේ ආහාර වේලට දිනපතා එළවළු හා පලතුරු එක්කර ගන්න. ආහාරමය තන්තු හෙවත් කෙඳි වලින් පරිපූර්ණ එළවළු හා පලතුරු මගින් රුධිරයේ සීනි මට්ටම හා කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළන අතර ආහාර මාර්ගයේ ඇතිවන මලබද්ධය වැනි ලෙඩ රෝග ඇතිවීමද වළක්වයි.

පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමට ද එළවළු හා පලතුරු දායක වේ. පිළිකා ඇති කිරීමට දායක වන වන විෂ සහිත සංයෝග විෂහරණය කිරීමටද ඒවා තැන්පත් වීම අඩු කිරීමටද  දායක වේ. ප්‍රධාන වශයෙන් ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා වන මුඛ පිළිකා, අන්නස්‍රෝතයේ පිළිකා, ආමාශයේ පිළිකා, අන්ත්‍ර වල පිළිකා, අක්මා පිළිකා මෙන්ම පෙනහළු පිළිකා වැනි පිළිකා රැසක්ම ඇතිවීමේ අවධානම අඩු කරයි. 

 රුධිරයේ සීනි මට්ටම අඩු කිරිම මගින් දියවැඩියාව වැනි රෝගී තත්ත්ව ඇති වීමේ අවදානම අඩු කිරීමට ද එළවළු හා පලතුරු සමත් වේ. පිටි සහිත ආහාර හා පැණි රස ආහාර වලට වඩා එළවළු හා පලතුරු වල සීනි මට්ටම ඉතා අඩුය. එමෙන්ම ආහාරමය තන්තු බහුල වීම හේතුවෙන් ක්ෂ්නිකව රුධිරයේ සීනි මට්ටම ඉහළ නැගීමට දායක නොවේ. එළවළු වලට වඩා පලතුරු වල සීනි මට්ටම වැඩි හේතුවෙන් දියවැඩියා රෝගීන් පෝෂණ වේදියෙකුගෙන් උපදෙස් ලබා ගැනීම සුදුසු වේ.

 තවත් එක් ගුණාංගයක් ලෙස රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමටද එළවළු හා පලතුරු දායක වෙයි. එළවළු හා පලතුරු වල පවතින ආහාරමය තන්තු මගින් කොලෙස්ටරෝල් අවශෝෂණය කර ඒවා ශරීරයෙන් බැහැර කරයි. මෙමගින් රුධිර නාල වල මේද තැන්පත් වීම හා රුධිර කැටි ඇතිවීම අඩු කර හෘද රෝග වලින් ආරක්ෂාව සපයයි. එමෙන් ම ශරීරයේ ඇතිවන අසාත්මික තත්වයන්ගෙන් මිදීමට ද දායක වෙයි. ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කර ඒ ආශ්‍රිත ලෙඩ රෝග වලට එරෙහි ව සටන් කරයි. බැක්ටීරියා හා වෛරස් නිසා ඇති වන ආසාදන තත්ත්ව වලට එරෙහිව ක්‍රියා කර ප්‍රතිශක්තිකරණ හැකියාව දියුණු කරයි. 

එළවළු හා පලතුරු වලින් ලැබෙන තවත් වාසි රැසකි. රුධිර වාහිනී ඉහිල් කර ශරීරයට රුධිරය සැපයීම ක්‍රමවත් කරයි. හෘද ස්පන්දන වේගය පාලනය කරයි. නිරෝගී සමක් හා පැහැදිලි පෙනීමක් ලබා දෙයි. නිරෝගී කෙස් කළඹක් ද ලබා දෙයි. වයස්ගත පෙනුම අඩු කර තරුණ පෙනුමක් ලබා දෙයි. අස්ථිවල ඝණත්වය වැඩි කර ආතරයිටීස් වැනි රෝගවලින් ඔබව ආරක්ෂා කරයි. එළවළු හා පලතුරු මගින් බෝ නොවන රෝග මෙන්ම බෝවන රෝග වලින් ද ඔබව ආරක්ෂා කරයි. එනිසා දිනකට අවම වශයෙන් එළවළු හා පලතුරු වර්ග පහක් ඔබේ ආහාර වේලට එකතු කර ගන්න. උදේ, දවල් සහ රාත්‍රී ආහාර වේල්වලට අවම වශයෙන් එළවළුවක් ද, අතුරුපසට පලතුරක් ද එක් කර ගන්න. එසේ නැතිනම් ප්‍රධාන ආහාර වේල් අතරතුර පලතුරක් හෝ පලතුරු බීම වර්ගයක් එකතු කර ගන්න. නිරෝගිමත් දිවියකට එළවළු හා පලතුරු වර්ග 5ක් දිනපතාම ආහාරයට ගැනීමට ඔබත් පුරුදු වන්න.

 කේ.බී.මල්ෂිකා මදුශානි