ආදරණීයත්වයේ උල්පත වූ මාතෘත්වය යනු ඔබත් මමත් හිදිනා මේ විශ්වය තුළ ලැබිය හැකි ඉහළම සම්පතයි. එහෙත් නිසි වයසට එළඹීමට මත්තෙන් නව යොවුන් වියෙහිදී ගැබ් ගැනීමකට ලක්වන්නේ නම් එය මහත් ඛේදවාචකයකි. ඒ නව යොවුන් මාතෘත්වය හා අහිතකර සෞඛ්‍ය අවදානම් රැසක් සම්බන්ධ වී පැවතීම හේතුවෙනි. එනම් මෙහිදී මවට පමණක් නොව ළපටි කිරිකැටියාටද මව් කුස තුළ සිටියදී මෙන්ම බිහිවීමෙන් අනතුරුවද විශාල මානසික, ශාරීරික හා සාමාජීය ගැටළු රැසකට මුහුණ දීමට සිදුවෙයි.
UNICEF සංවිධානය මගින් සිදුකර ඇති අර්ථදැක්වීමට අනුව වයස අවුරුදු 13-19 ත් අතර පසුවන ගැහැණු දරුවන් නව යොවුන් වියට අයත් වෙයි. ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශය මගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යා දත්තවලට අනුව 2018 වර්ෂයේදී ලියාපදිංචි වී ඇති යොවුන් ගැබිණි මවුවරුන්ගේ ප්‍රතිශතය 4.4%කි. මෙම ප්‍රතිශතය සදහා නීත්‍යානුකූලව විවාහ වූවන් හා නීත්‍යානුකූලව විවාහ නොවී එකට සිටින්නන්ද අයත් විය.
මෙලෙස නව යොවුන් මව්වරුන් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතුව වී ඇත්තේ අයහපත් පවුල් පසුබිමයි. මෙවන් බොහෝ ගැබ් ගැනීම් සැලසුම් සහගත නොවන අතර නිසි දැනුමක් නොමැති කමත්, නිවැරදි පවුල් සැලසුම් ක්‍රම අනුගමනය නොකිරීමත් (වයස අවුරුදු 18-19 ත් අතර වියේ පසුවන විවාහ වී සිටින ගැහැණු දරුවන්) හේතුවෙන් නව යොවුන් ගැබ් ගැනීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. තවද මවුපියන් විරසක වීම, මවුපියන් වෙන්වී වාසය කිරීම, දරිද්‍රතාවය, ලිංගික අපචාරයන්ට ගොදුරු වීම, මත්පැන් හා මත්ද්‍රව්‍යයන්ට ගොදුරු වීම සහ අඩු වයසින් විවාහ ජීවිතයට ඇතුළත් වීම වැනි කරුණුද මේ අතර වෙයි.
මෙහිදී ඇතිවන ප්‍රධානතම සමාජ විද්‍යාත්මක ගැටළුව වන්නේ දරුවකු විසින් තවත් දරුවකු දරා සිටීමයි. ගැහැණු දරුවකු වැඩිවියට පත් වූ පමණින් ඇයගේ ශරීරය දරු ගැබක් දරා සිටීමට තරම් වර්ධනය නොවේ. මෙම නිසා නිරන්තරයෙන් ඇතිවන ශාරීරික සංකූලතා රැසකට මුහුණ දීමට ඇයට සිදුවෙයි. එමෙන්ම තවත් අතිශය දුෂ්කර කාර්යයක් වනුයේ සමාජය තුළින් එල්ලවන පීඩාවන් හේතුවෙන් ඇතිවන මානසික පීඩාවන්ටද ඇයට මුහුණ දීමට සිදුවීමයි.
වෛද්‍ය විද්‍යාත්මක සංකූලතාවන් අතර රක්තහීනතාවය, අධි රුධිර පීඩනය, විශාදය සහ පෝෂණ ඌණතා ප්‍රධාන තැනක් ගනියි. පෝෂණ තත්ත්වය මෙහිදී අතිශය තීරණාත්මක සාධකයක් විය හැක්කේ කළල බන්ධයේ හා මව් කුස තුළ වැඩෙන කළලයේ සමස්ථ වර්ධනයම මවගේ පෝෂණ තත්වය මත තීරණය වීමයි.
නව යොවුන් මව්වරුන්ගේ කැල්සියම්, යකඩ, සින්ක්, විටමින් B2 සහ ෆෝලේට් අයන පරිභෝජනය වැඩිහිටි මව්වරුන්ට සාපේක්ෂව ඉතා පහළ අගයක පවතී. තවද මෙවන් යුවතියන් ගර්භණීයත්වයට ප්‍රථම ලබා ගත යුතු පෝෂණ අතිරේක (ෆෝලේට් වැනි ) ලබා ගැනීමේ ප්‍රවණතාවයද ඉතා අඩුය. මේ නිසා ඔවුන් ගර්භණීයත්වයට ඇතුළත් වනුයේද යම් යම් පෝෂණ ඌණතාවයන් සහිතවය. මෙවන් හේතූන් නිසා රක්තහීනතාවය නව යොවුන් මව්වරුන් අතර බහුල වන අතර මේ සදහා ප්‍රධාන වශයෙන් යකඩ ඌණතාවය, විටමින් B12 ඌණතාවය සහ ෆෝලික් අම්ල ඌණතාවයද බලපායි.
නව යොවුන් ගැහැණු දරුවන්ගේ ශාරීරික වර්ධනය ඔවුන් මල්වර වීමෙන් පසුව අවුරුදු 4ක ක කාලයක් පමණ දක්වාම සිදුවෙයි. මෙම වර්ධනය වයස අවුරුදු 13 – 15 අතර සීමාවේදී උච්චතම වෙයි. ගර්භණීයත්වයේදී කළලයේ ප්‍රශස්ත වර්ධනයක් සදහා අවශ්‍ය ශක්ති අවශ්‍යතාවයද වැඩිවෙයි. යොවුන් මව්වරුන්ට, ඔවුනුත් වර්ධනය වෙමින් පවතින නිසා, කළලයේ වර්ධනය සදහා අවශ්‍ය ශක්තිය සහ පෝෂණය නිසි පරිදි ලබාදීමට අපහසු වෙයි. මෙය කළලයේ වර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් රැසක් අතිකරයි.
ගර්භණී සමයේ අධි රුධිර පීඩන තත්වයන් පැවතීම නිසාවෙන් මවට මෙන්ම මව තුළ වර්ධනය වන කළලයටද අහිතකර බලපෑම් ඇතිවිය හැකිය. මේ තුළින් වකුගඩු වැනි ප්‍රධාන ශරීර අවයවයන්ගේ නිසි ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් ඇතිවෙයි. තවද, මෙනිසා අඩුබර සහිත නොමේරූ දරු උපත් ඇතිවීමද සිදුවිය හැකිය. විශාලම ගැටළුව නම් මෙම ඝෘණාත්මක බලපෑම් අළුත උපන් දරුවාගේ සමස්ථ වර්ධනය කෙරෙහිද බලපෑමයි. මෙවන් අඩු බරක් සහිතව උපදින දරුවන් පසු කාලීනව හෘද රෝග සහ දියවැඩියාව යන තත්වයන්ට ගොදුරු වීමේ අවදානම ඉතා ඉහළය. මව තුළින් නිසි පෝෂණයක් නොලැබීම හේතුවෙන් ළදරුවාගේ මානසික හා ශාරීරික වර්ධනය මේ නිසා සම්පූර්ණයෙන්ම පාහේ නොවූවත් යම්කිසි මට්ටමකට අඩාළ විය හැකිය.
වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව මේ හා සම්බන්ධ ප්‍රධානතම අවධානමක් වනුයේ වැඩිහිටි මව්වරුන්ට සාපේක්ෂව මෙවන් නව යොවුන් මව්වරුන්ට ගබ්සා වීම්, මළ දරු උපත් ඇතිවීම හා මාතෘ මරණ සිදුවීමේ හැකියාව ඉහළ වීමයි. මෙවන් යුවතියන්ගේ ගබ්සාවීමේ අවධානම ඉතා ඉහළ අගයක පවතිනුයේ, ස්වාභාවිකව ගබ්සාවක් සිදුනොවුණද ඔවුන් ගබ්සාවක් සිදුකරවා ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ අගයක පැවතීමයි. අවාසනාවන්තම තත්වය නම් මෙවන් හේතූන් නිසා මාතෘ මරණ සිදුවීමේ අවදානමද ඉහළ අගයක පැවතීමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල වයස අවුරුදු 15ත් – 19ත් අතර පසුවන ගැහැණු දරුවන්ගේ මාතෘ මරණ සදහා ප්‍රධාන හේතූන් ලෙස දරු ප්‍රසූතියෙන් පසු අධික ලෙස රුධිර වහනයවීම – postpartum hemorrhage (යකඩ ඌණතා රක්තහීනතාවය නිසා සිදුවේ) හෝ අවහිරකාරී ප්‍රසූත තත්වයන් ඇතිවීම – obstructive labor දැක්විය හැකිය.
මෙම සියලු කරුණු සලකා බැලූ විට නව යොවුන් වියට ගර්භණීයත්වය සුදුසු නොවේ යන්න සදහන් කළ හැකිය. එබැවින් නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් සිටින දෙමව්පියන් ඔවුන් කෙරෙහි ඉතා හොද අවදානයකින් පසු විය යුතු අතර ඔවුනට ලැබිය යුතු සැබෑ ආදරය, අධ්‍යාපනය සහ ආරක්ශාව ලබා දීමට කටයුතු කිරීම තුළින් මෙම අවාසනවන්ත තත්වයට ශ්‍රී ලාංකේය නව යොවුන් වියේ පසුවන යුවතියන් මුහුණ දීම වළක්වා ගත හැකිවනු ඇත.
ප්‍රමෝදි පුන්සරා ජයවික්‍රම.තෙවන වසර