Nutrition Society

ගුණ දේ කන්න වාසි ලබන්න


දෛනික, නිවැරදි ආහාර රටා අනුගමනය කිරීම, නීරෝගී දිවියකට මග සළසයි. එය ළගා කරගැනීමෙහි ලා පෝෂදායී ආහාර වලින් සිරුරට ලැඛෙන වටිනාකම් පිළිබඳව කරුණු මෙම ලිපියෙහි අඩංගු වේ.
ආහාර වල ඇති පෝෂක කොටස්, කාබෝහයිඩ්‍රේට,ප්‍රොටීන, තෙල් හා මේද, විටමින් හා ඛණිජ ලවණ ලෙස වෙන් කළ හැකියි. සෑම ආහාරයකම පාහේ මෙම සංඝටක විවිධ ප්‍රමාණ වලින් අඩංගු වේ.
කාබෝහයිඩ්‍රේට සිරුරට ශක්තිය ලබා දෙයි. කාබෝහයිඩ්‍රේට බහුල ආහාර ලෙස, ධාන්‍යමය ආහාර (උදා.· බත්, පාන්, රොටී), දෙල්, කොස් වැනි පිෂිඨමය ආහාර, මඤ්ඤොක්කා,බතල වැනි විවිධ අල වර්ග දැක්විය හැකියි. තවද, ආහාර වල ඇති තන්තු අයත් වන්නේද කාබෝහයිඩ්‍රේට කාණ්ඩයටයි. තන්තු සහිත ආහාර, මල බද්දය, දියවැඩියාව, රුධිරගත අධි කොලෙස්ටෙරෝල් මට්ටම වැනි ලෙඩ රෝග පාලනය කිරීමට උපකාරී වන අතර ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තත්ව වැළැක්වීමටද උපකාර කරයි. තන්තු බහුල ආහාර ලෙස එළවලූ, පළතුරු, නිවුඩ්ඩ සහිත බත් වැනි ආහාර වර්ග දැක්විය හැකියි.
තෙල් හා මේද ද සිරුරට ශක්තිය ලබා දෙයි. තෙල් හා මේද බහුල ආහාර ලෙස,පොල්, පොල් තෙල්, බටර්, රටකජු වැනි ආහාර වර්ග දැක්විය හැකියි.
ප්‍රොටීන,ඇතැම් ඛණිජ ලවණ(කැල්සියම්) හා එක්ව ශරීර වර්ධනයට උපකාර කරයි. ප්‍රොටීන බහුල ආහාර ලෙස මස්, මාලූ, කරවල, බිත්තර, කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන වැනි සත්වමය ආහාර වර්ගද, මුං ඇට, පරිප්පු, කඩල වැනි පියලි වර්ගද, දඹල, මෑ, සෝයා වැනි රනිල භෝග වර්ගද දැක්විය හැකියි. ශරීරයට දෛනිකව ප්‍රමාණවත් ප්‍රොටීන සැපයුමක් තිබීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට දායක වේ. එය, බෝනොවන රෝග වලින් අප ආරක්‍ෂා කිරීමෙහිලා මහඟු කෘත්‍යයක් ඉටුකරයි.තවද, ඔබ නිර්මාංශ පුද්ගලයෙක් නම්, ශාකමය ප්‍රොටීන ප්‍රභව ඔබගේ දෛනික ආහාර වේලට වැඩිපුර එක් කරගත යුතුය.
විටමින් හා ඛණිජ ලවණ, ප්‍රධාන වශයෙන්ම ශරීරය ලෙඩරෝග වලින් ආරක්ශා කර ගැනීමට උපකාර කරයි. එලවළු වර්ග, පලතුරු වර්ග, පලා වර්ග, මස්, මාළු වැනි සත්වමය ආහාර, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වල විවිධ විටමින් හා ඛණිජ ලවණ අඩංගු වේ. සිරුරට ප්‍රමාණවත් විටමින් හා ඛණිජ ලනණ සැපයුමක් තිබීම, මනා පෙනීම පවත්වා ගැනීම, ක්‍රියාශීලීභාවය පවත්වා ගැනීම, විටමින් ඌණතා හේතුවෙන් ඇතිවන සංකූලතා වළක්වා ගැනීම, අස්ථී පද්ධතියේ මනා සෞඛ්‍යමත් භාවය පවත්වා ගැනීම, දරුවන්ගේ මනා වර්ධනය සඳහා දායක වේ. තවද සමේ, කෙස් කළඹේ, නියපොතු වල නීරෝගී පෙනුම රැක ගැනීමට ඉහත කරුණ දායක වන අතර ඔබේ තරුණ පෙනුම රැක ගැනීමට එය මහඟු රුකුලකි. එලවළු, පලතුරු, කුලූබඩු වර්ග වල අඩංගු ප්‍රතිඔක්සිකාරක නම් සංයෝග ඔබට විවිධ බෝ නොවන රෝග වැළඳීමේ අවධානම අඩු කරයි.
වර්ථමානයේදී ඔබගේ ආහාර රටාව අනුව, අනාගතයේදී ඔබට යම් යම් රෝග වැළඳීමේ ප්‍රවණතාව වෙනස් වන බව සමීක්‍ෂණ වලින් තහවුරු කර ඇත. එබැවින්, නිවැරදි ආහාර රටා භාවිතයෙන් නීරෝගී දිවියකට හිමිකම් කීමට ඔබ සැමට ජය.

මිෂෙල් සහබන්දු
ව්‍යවහාරික පෝෂණ අධ්‍යනාංශය(තෙවන වසර)
පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රි ලංකා වයඹ විශ්ව විද්‍යාලය